BREAKING NEWS

Feb 9, 2013

සිංහල මුස්ලිම් අතීත සබඳතා


සහෝදරත්වය නම් බැඳීමෙන් උනුන් බැදී සිටි වගට ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. උනුන් ලෙසින් සඳහන් කළේ සිංහලයන් හා මුස්ලිම්වරුන්ය. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය සොයා යන ගමනේදී ඔවුන් දුරාතීතයේ සිටම ලංකාව සමග ලංකාවේ රාජ්ය පාලකයන් සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ. ඒ සබඳතා ආර්ථික සබඳතා සහ දේශපාලන සබඳතා යනුයෙන් දෙයාකාර වේ. 7 – 8 සියවස් වෙද්දී අරාබීන් හෙවත් මුස්ලිම්වරු වෙළඳාම මුල් කරගෙන මේ රට සමග දැඩි සබඳතාවක් ගොඩ නගා ගෙන තිබුණි.

එපමණක් නොව අරාබි ජාතිකයින් ලංකාව ගැන ලියු මූලාශ්ර දෙස බැලීමේදී ඔවුන් දැඩි අවධානයක් ලංකාව සම්බන්ධව යොමුකර ඇති බවට සාක්ෂි මුණ ගැසේ.

ඉස්ලාම් දහම පහළවීමට බොහෝ කලකට පෙර පටන් අරාබීන් හෙවත් මුස්ලිම් ජාතිකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්රීකයන්ට හා රෝමවරුන්ට මේ රටේ තොරතුරු දැන ගන්නට ලැබුනේ අරාබි සංචාරයකයන් ගෙනි. එසේ වුවත් අරාබි හෙවත් මුස්ලිම්වරු විසින් ලියන ලද ග්රන්ථ වලට ලංකාව පිළිබඳ තොරතුරු ඇතළත් කරන ලද්දේ ඉස්ලාම් ආගම ඇති වුනාට පසුවය. පළමුවෙන්ම මෙවැනි දේශාටන වර්ණනයක් ලියන ලද්දේ සුලෙයිමාන් නැමැත්තෙකි. ක්රි.ව. 950 දී පමණ අබූසයියද් නැමැත්තා ලියූ සිල්සිලක් අල්කවාරී නම් පොතට ලංකාව ගැන තොරතුරු ඇතුළත් කෙරුණි. ඉන් අනතුරුව ලංකාව ගැන අනගි වර්ණනාවක් කල මුස්ලිම් ලේඛකයෙකු වන්නේ ඉබන් බුර්දාද් වේ නැමැත්තාය.

එසේ සියළු කරුණු ඒකරාශි කර 10 වන සියවසේදී පමණ මසුකි නම් ලේඛකයා තවත් ග්රන්ථයක් ලීවේය. ඉන් අනතුරුව මක්දිසි වැනි ලේඛකයන්ද ලංකාව ගැන ලුහුඩින් සදහන් කිරීම් කළේය.

පසු කලෙක පසු අබුර්තී දා වැනි භූගෝල විද්යාඥයින්ද ලංකාව ගැන සඳහන් කලේය. ඒ සියළු මුස්ලිම් ලේඛකයන් අතර වඩා වැදගත් වන්නේ 14 වන සියවසේ මේ රටේ සංචාරය කළ ඉබන් බතූතා ගේ වාර්ථාය. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයෝ හත් වන සියවස වෙද්දී බටහිර දෙසට යන මුහුදු මාර්ග වල ආධිපත්ය ලබා ගෙන සිටියහ. දකුණු ඉන්දියාවේ චෝලපාණ්ඩය යන රාජ්යයන් යටපත් වීමත් සමගම අරාබි බලය දියුණු වූයේය.

එහි ප්රතිඵලයක් ලෙස ක්රි.ව. 949 වෙද්දී අරාබි නැව් වෙළද ගනුදෙනු සදහා කොළඹට පැමිණියේය. 8 වන ශතවර්ෂයේ සිට මුස්ලිම්වරු විශාල පිරිසක් ලෙස ලංකාවේ වර්ධනය වූහ.

ලංකාවේ සිටි මේ මුස්ලිම්වරු ලාංකික මුස්ලිම්වරු හා මුහුදුබඩ මුස්ලිම්වරු යනුවෙන් හැඳින්වුනා. අරාබි බලය දකුණු ඉන්දියාවේ වර්ධනය වූවාට පසුව මුස්ලිම්වරු වෙළඳ ගනුදෙනු සඳහා කොළඹට පැමිණියහ. අරාබි වෙළෙන්දෝ කොළඹ පදිංචි වූහ. 1505 දී පෘතුගීසින් පැමිණීමට බොහෝ කලකට පෙර අරාබීහූ ලංකාවේ මුහුදු බඩ ප්රදේශ වල වෙළඳාමේ තනි අයිතිය හිමිකර ගනිමින් සිංහල රජුත්, සිංහල වැසියනුත් සමග සාමකාමී සහජීවනයෙන් යුතු දිවිපෙවෙතක් ගත කළහ. ඔවුන් ලංකාව හැඳින්වූයේ සෙරන්ඩිබ් යන නමිනි.

මේ කාලය වන විට අරාබි මුහුදේ නැගෙනහිර කොටසේ ප්රධාන වෙළඳපල වූයේ කොල්ලම් නම් ස්ථානයයි. මේ ස්ථානයේ සිට මාර්ග දෙකක් විහිදී තිබුනි. 9-10 සියවස් වල අරාබි නැවියන් ලියූ වාර්ථා වල මේ ගැන සඳහන් වෙයි. එයින් එක් මාර්ගයක් වැටී තිබුනේ මන්නාරම් බොක්කේ සිට ගංගානදී මෝය දක්වාය. අනෙක් මාර්ගය නිකොබාර් දූපත ඔස්සේ වැටී තිබුනි. උතුරු මේ ගමන් මාර්ගයේ වැදගත් තැනක් උතුරු කෙළවරට හිමි විය.

එපමණක් නොව ලක්බිමේ උපන් සෑම ද්රවිඩයන් කෙරේම මුස්ලිම් ජාතිකයෝ බලවත් සැලකිල්ලක් දැක්වූහ. ඔහු කුළුබඩු නිෂ්පාදනය පෙර අපර දෙදිග රටවල් වෙත ගෙන ගියහ. මුස්ලිම් වෙළඳ ප්රජාවක් ලංකාවේ බිහිවූයේ මෙපරිදිය.

මේ ප්රජාවට අයත් වැන්දඹුවන් හා අනාථ දරුවන් පිරිසක් මව් රටට යැවීමේ කටයුතු ලංකාවේ රජු විසින් කරන ලද බවක් 8 වන ශතවර්ෂය පිළිබදව ලියවුනු ඉතිහාස සටහනක සඳහන් වෙයි. ඉන් පෙනී යන්නේ සිංහල පාලකයන් මුස්ලිම් වෙළඳ ප්රජාව කෙතරම් ආරක්ෂා කළාද යන්නය.

අරාබි මුස්ලිම්වරු ලංකාවේ මැණික් ගැන හැම විටම විශේෂ උනන්දුවක් දැක්වූහ.

එදා ලංකාව හැඳින්වූයේ රත්නදීපය යන්නයි. ඒ නමට සමාන අරුත් ඇති නමකින් මුස්ලිම්වරුද ලංකාව හැදින්වූහ. ඒ නම වූයේ ජසිරත් අල්යකුත් (මැණික් දිවයින) යන්නය. ඔවුන් ලංකාවෙන් පිටරටට යැව්වේ මුතු, දියමන්ති, ගෝමේද, කුරච්චි, සක්ගෙඩි, ගම්මිරිස්, සාම්බ්රානි වැනි වටිනා ද්රව්යයන්ය. මේ මුස්ලිම්වරු ලංකාවේ පදිංචි වුයේ බලහත්කාරයෙන් හෝ ආයුධ බලයකින් නොවේ. මේ රටේ රජවරුන්ගේ අනුග්රහය මත පෞද්ගලික ව්යාපාර වල ප්රතිඵලයක් ලෙසය.

මුහුදු බඩ ප්රදේශයේ මේ අන්දමට පදිංචි වූ මුස්ලිම්වරුන්ට තම ආගම අදහන්නට සිංහල පාලකයන් ආගමික සහනශීලීතාව ගරු කරමින් ඉඩහල බවත් සිංහල පාලකයන් තුලින් ඒ ආගමික සහනශීලීතාව මැනවින් දිස්වූ බවත් අරාබි ග්රන්ථ කතුවරුන් විසින් සඳහන් කර තිබේ.

මුස්ලිම්වරු ලංකාවේ බටහිර වෙරළ තීරයේ සුදුසු තැන් වල විශේෂයෙන්ම කලපුව අසලත් සිංහල වැසියන්ගේ හා පාලකයන්ගේ ආරක්ෂාව හා කාරුණික සැළකිලි ලබමින් ජීවත් වූහ. මුහුදු බඩ ප්රදේශයේ එවකට පදිංචි වූ මුස්ලිම්වරු ශ්රීපාද කන්දට ආසන්න ප්රදේශයේ මැණික් ඇති තැන් සොයා යාමේ වෑයමටද ප්රවේශ වූහ. එවැනි දේ වූයේ ලාංකික රජවරුන්ගේ චාරිත්රානුකූල අනුමැතියට අමතරව රටේ මිනිසුන් ලාංකික ජනතාව ඔවුන් වෙත ලබා දුන් සහය හේතුවෙනි. එකල වැසියෝ ආගමික හා සමාජීය භේදයකින් තොරව මුස්ලිම්වරු පිළිගත් බව මේ ඉතිහාසය විසින් පැහැදිලි කරනු ලැබේ.

මුස්ලිම් බලය ව්යාප්තිය යාපහුව රාජධානිය සමය යන විට තවත් වර්ධනය විය. යාපහුව පාලකයාවු පලවන බුවනෙකබාහු රජු මුස්ලිම් රටක් වූ ඊජිප්තුව සමග 1283දී වෙළද ගිවිසුමක්ද ඇති කර ගත්තේය. එදා ඊජිප්තුවේ රජවාසලට ලංකාවේ දූත පිරිසක් සිංහල රජුගේ සංදේශයක් රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් වේ.

ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයන් ආපසු එන විට ඊජිප්තුවේ දූතයෙකු ඔවුන් සමග එනු ඇතැයි කියා සෑම වර්ගයකම මැණික් හා මුතු අතිවිශාල ප්රමාණයක් මා සතුව තිබේ. නැව් ඇතුන් රෙදි අගිල් කුරුදු වැනි සියළු වාණිජ ද්රව්යයන් ඔබට එවමි. තෝමර තැනීමට සුදුසු ලී ගස් මගේ රාජ්යයේ වැවේ. අවුරුදු පතා නැව් 20 ක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. එතුමාගේ විජිත වල වෙළෙන්ඳන්ට මගේ රාජ්යයේ වෙළඳාම් කිරීමට සම්පූර්ණ නිදහස තිබේ.

මට අයිති මාළිගා 29 ක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගයකම මැණික් වලින් පිරී තිබේ. මුතුපර තිබේ. එයින් ගනු ලබන සියළු මුතු මා සතුය.

මෙවැනි වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පැහැදිලි වන්නේ අපේ රටේ මුස්ලිම් රටවල් සමග හොඳ සම්බන්දතාවක් පැවැත්වූ බවයි. මෙය එකී සම්බන්ධතාව තහවුරු කරන එක් උදාහරණයක් පමණි. ගාල්ලේ තිබී ත්රී භාෂා ලිපියක් හමුවිය. ඒ සෙල්ලිපිය ලියා ඇත්තේ චීන දෙමළ පර්සියානු භාෂා වලිනි. 14 වන සියවසේ ලංකාවට ආ ඉබන් බතූතා ශ්රීපාද වන්දනාවේ යද්දී ලංකාවේ පාලකයාගේ රාජධානිය වූ කෝනකර් නගරය හරහා ගිය ගමනේදී සෑහෙන්න ඔහුට අනුග්රහයක් ලබාදුන් බව කියවේ. මේ ආකාරයේ සෑහෙන සබඳතාවක් මුස්ලිම්වරුන් හා ලාංකිකයන් අතර එම යුගය වෙද්දී ඇති වී තිබුනි.

තවද සීතාවක රාජධානියේ මායාදුන්න රජුට කෝම්පෙ බුවනෙකබාහු හා පෘතුගීසීන් සමග සටනට යන්නට සම්පූර්ණ සහය හා අනුබලය දුන්නේද ඉන්දියානු සාගරයේ එවකට වෙළඳ ආධිපත්ය ලබාගෙන සිටි සැටොරින් නම් වෙළද කණ්ඩායම විසිනි. සැටොරින් යනු මුස්ලිම්වරුන්ය. මේ වෙළඳ කුලය සීතාවක රාජධානීත් සමග හොඳ වෙළඳ හා මිත්රශීලී සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත.

2011 දී ලංකාවේ පැවැත්වූ ජන සංගණන වාර්තා අනුව මුහුදුමය මුස්ලිම්වරු 32,724 ක් සිටි අතර ලාංකික මුස්ලිම්වරු 21,33,901 ක් පමණ සිටියහ. එමෙන්ම මේ රට අධිරාජ්යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමේ අරගලය හෙවත් නිදහස් සටන් ව්යාපාරයට මුස්ලිම් නායකයෙකු ටී බී ජායා මහතා මහත්වූ දායකත්වයක් ලබාදුන්නේය. එදා මේ රටේ සිංහල දමිල මුස්ලිම් භේදයක් තිබුනේ නැත. එදා නිදහස් සටනට මේ මුස්ලිම් නායකයා දුන් සහයට කෘතගුණ දැක්වීමක් වශයෙන් කොළඹ නගරයේ මාවතක්ද ටී. බී. ජායා මාවත ලෙස නම් කෙරුණි. ඔහු එදා මේ රටේ නිදහස වෙනුවෙන් සිංහල නායකයන් සමග උරෙන් උර ගැටී සටන් කළේය.

සාමය සමගිය පතුරාලා
කුල වාදය භේදය දුරලාලා
සම උපකාරය නංවාලා
අපි හැදෙමු වැඩෙමු එක්සත්වීලා

එදා සිංහලයන් දමිළයන් හා මුස්ලිම් වරුන් කටයුතු කළේ එකී හැඟීමෙන් හා සහෝදරත්වයෙන් බැඳීමෙන් බව එකී සබඳතාවයෙන් අගමුල් සොයා යන ගමනේදී ඉතිහාසය විසින් පහදන සත්යයි.


ශ්රී ජයවර්ධන පුර විශ්ව විද්යාලයේ ඉතිහාස අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථාකාචාර්ය නන්ද ධර්මරත්න.
සටහන: සංජීවිකා සමරතුංග

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &