BREAKING NEWS

Feb 9, 2013

රනිල්ගේ ‘හලාල්’ කතාව ගැන විමසුමක්!


සිංහල, මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ අහුරමින් කටයුතු කළ යුතු බවත්, 1915 දී සිදුවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීමක් යළි සිදුවීම ඉඩ නොදීම රජයේ වගකීමක් බවත් පසුගිය 2013 පෙබරවාරි 6 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේ සාරාංශය පහත දක්වමින් මගේ විමසුම ඉදිරිපත් කරමි.

උපුටා ගැනීම
මුස්ලිම් ප්‍රජාවට යම් යම් හිරිහැර අකටයුතුකම් සිදුවන්නා සේම නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනයාට ද හිරිහැර සිදුවී ඇති බවට වාර්තා වන බවත්, හලාල් සහතික ලබාගැනීම සඳහා සිංහල ව්‍යාපාරිකයින්ට බලපෑම් ඇත්ද යන්න රජය විසින් සොයා බැලිය යුතුව ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
තමා විසින් ජෙම්මීයතුල් උලමා පනත පිළිබඳ සොයා බැලූ බවත් එහි කිසිදු තැනක හලාල් සහතික නිකුත් කිරීමක් ගැන සඳහන්ව නැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරන ලදී.
උපුටා ගැනීම අවසන්

මෙම ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතා දෙපැත්තම බේරා ගන්නට කළ ප්‍රකාශයක් ලෙස පෙනෙන නමුදු පැහැදිලිවම එක් පාර්ශවයක් නැතිකරගත් බවක් පෙනේ. මා මෙහිදී පාර්ශවයන් දෙක ලෙස හැඳින්වුයේ. පසුගිය පලාත් සභා මැතිවරණය තුල අම්පාර දිස්ත්‍රික්කයෙන් එජාපයට වැටුණු සිංහල ඡන්ද ප්‍රමාණය සහ එජාපයට ලංකාව පුරාම තිබෙන මුස්ලිම් ඡන්ද පදනමයි. ආරම්භයේදීම කිවයුතු කරුණක් නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතිහාසයේ කළ ගොන්කම් වලට මෙම ප්‍රකාශයද එකතු වන බවයි. මන්ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනිකව සැමදාම කලේ අනාගැනීමයි. මෙයද එවැනිම කටයුත්තකි.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැගෙනහිර පලාතේ සිංහල ජනතාවට හිරිහැර සිදුවන්නේ කාගෙන්ද? ඒ හිරිහැර මොනවාද? යන්න පෙන්වා දිය යුතුව තිබුණි. එයට සාධක ඉදිරිපත් කළ යුතුව තිබුණි. එම හිරිහැර මොනවාද? එයට සාධක මොනවාදැයි නොකියා නැගෙනහිර පලාතේ සිංහල ජනතාවට හිරිහැර සිදුවනවා යැයි පැවසීම අන්තවාදීන් අමන්දානන්දයට පත් කිරීමක් පමණි. මෙසේ මෙම ජාතිවාදීන් සහ ආගම්වාදීන් පෝෂනය කිරීමෙන් එජාපයට කිසිදු වාසියක් අත්නොවන බව මගේ අදහසයි. නමුත් රනිල් වික්‍රමසිංහ සැමදා ගත්තේ වැරදි දේශපාලනික තීන්දු තීරණ නිසා මෙවැනි ප්‍රකාශයන් අපට අරුමයක් නොවේ.

හලාල් සහතිකය සම්බන්ධව සිංහල ව්‍යාපාරිකයන්ට බලපෑම් ඇත්ද? යන්න රජය සොයා බැලිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සිංහල ව්‍යාපාරිකයන්ට එසේ බලපෑම් සිදුවන බවකි. නමුත් මෙය ආගම්බේධවාදී අන්තවාදීන් ගෙතු කථාවක් මිස එහි කිසිදු පදනමක් නැත. එයට කිසියම් සාධකයක් තිබෙනවා නම් ඔහු එය ඉදිරිපත් කළයුතුව තිබුණි. රටේ විපක්ෂ නායකයා විසින් මෙසේ පදනම් විරහිත ප්‍රකාශ කිරීම ගැන මුස්ලිම් නායකයන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව මගේ අදහසයි.

සමස්ථ ලංකා ජමියතුල් උලමා පනත තුල හලාල් අඩංගු නැති බවට විපක්ෂ නායකයා විසින් කළ ප්‍රකාශයෙන් අරුත් ගැන්වෙන්නේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට හලාල් සම්බන්ධව අයිතියක් නැති බවයි. මෙම ජමියතුල් උලමා සංවිධාන පනත සම්මත කළේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක වරයාව සිටි පාර්ලිමේන්තුවක් තුලදීමය. එමෙන්ම ඔහු අගමැති වශයෙන් කටයුතු කළ කාලය තුලද ජමියතුල් උලමා සංවිධානය සහ මෙකී හලාල් කමිටුවද ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ කාලයේ මේ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බව අපට පෙනේ. එසේ නොකළ විපක්ෂනායක වරයා දැන් මේ සම්බන්ධව අදින්නේ ඇයි? අනිවාර්යයෙන්ම දේශපාලන උපක්‍රමයක් වශයෙන් බව පැහැදිලිය.  

එයට සැඟවුණු හේතුව මා දැන් ඉදිරිපත් කරමි. පසුගිය සතියේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට මුස්ලිම් සමාජයේ නායකයන් ගෙන්වා සාකච්ඡාවක් කර ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීමට අවශ්‍ය විය. මේ සඳහා සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයටද ඇරයුම් කෙරිණි. නමුත් මේ සාකච්ඡාව හදිසියේ සංවිධානය කළේ 2013 පෙබරවාරි මස 01 වැනි දා එනම් සිකුරාදායි. නමුත් ජමියතුල් උලමාව පවසා සිටියේ මෙය පැවැත්වෙන්නේ සිකුරාදා නම් තමන්ට පැමිණිය නොහැකි බවයි. මන්ද සිකුරාදා යනු මුස්ලිම් ආගමික නායකයන්ගේ වැඩකටයුතු අධික දිනයකි. එහෙත් එම සාකච්ඡාව ජමියතුල් උලමා සංවිධානය නොමැතිව පැවැත්වුණු අතර එයින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද ජමියතුල් උලමා සංවිධානයට දොස් පවරා තිබුණි.

මෙයට හේතුව අන්කිසිවක් නොව මෙම සාකච්ඡාවට ජමියතුල් උලමාව සහභාගී නොවීම සම්බන්ධව විපක්ෂ නායකයාට ඇතිවු තරහවයි. ජමියතුල් උලමාව යනු විපක්ෂ නායකයාට අවශ්‍ය පරිදි ක්‍රියාකරන රූකඩයක් නොවන බව ඔහු වටහා ගත යුතුය. එමෙන්ම ජමියතුල් උලමාව යනු එජාපයේ උප සංවිධානයක් නොවන බවද වටහා ගත යුතුය‍. විපක්ෂ නායකයාට ජමියතුල් උලමා විද්වතුන් හමුවීමට අවැසි නම් ඔහු විසින් ඒ සඳහා යා යුතු බව මගේ අදහස පමණක් නොව අනෙකුත් මුස්ලිම් සමාජ නායකයන්ගේද අදහසයි.   

හලාල් කමිටුව යනු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අධීක්ෂණය මත ක්‍රියාකරන ස්වාධීන කමිටුවකි. හලාල් කමිටුවෙන් කරන්නාවු සේවය නීතිගත කිරීම සහ නියාමනය සම්බන්ධව තවම ලංකාවේ නීතිරීති නොමැත. මේ සම්බන්ධව පාර්ලිමේන්තු පනතක් සම්මත කරගත යුතුය. 2000 වසරේ සිට පවතින රජයන් මේ ගැන නොදැන සිටියා නොවේ. එහෙත් ඔවුන් කිසි දිනක ඒ ගැන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට විරෝධය ප්‍රකාශ නොකළේය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වරයාව සිටි කාලයේද මෙය ක්‍රියාත්මක විය.   

මෙහිදී සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් හලාල් කමිටුවක් ඇති කළේ මන්ද? යන්න අප විමසා බැලිය යුතුය. ජමියතුල් උලමා සංවිධානය මෙම කාර්යයට අතගසන්නට පෙර හලාල් සහතිකය ක්‍රියාත්මක වුයේ HFAC Halal Foods Awareness Committee නම් ආයතනයකිනි. නමුත් එකල බොහෝ දෙනෙකු මෙම ලාංඡනය වැරදි ආකාරයට භාවිතා කිරීම නිසා එහි පිළිගැනීම සම්බන්ධව ගැටළු තිබුණි. එමෙන්ම ලංකාවෙන් පිටරටට ආහාර අපනයනය කරන සමාගම් සිය නිශ්පාදන වල හලාල් සහතික කර ගැනීමේ විශ්වාසනීය වැඩ පිළිවෙලක් අවශ්‍ය කර තිබුණි. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පෙරට පැමිණියේ මෙම අරමුණ ඉටු කිරීමටයි.

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ පනතේ සඳහන් අරමුණු අතර “ඉස්ලාමයේ මතවාදයන් ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාම” යනුවෙන් අරමුණක් ඇත. හලාල් සහතිකය අයත් වන්නේ එම අරමුණ තුලටය. මන්ද හලාල් යනු ඉස්ලාමීය සංකල්පයකි. එම සංකල්පය ආරක්ෂා කිරීම සහ එය පවත්වාගෙන යාම සමස්ථ ලංකා ජමියතුල් උලමාවේ වගකීමකි. මේ බව අපේ අඳබාල විපක්ෂ නායක තුමා සහ එතුමා අවට සිටින කොලඹ හතේ කේවට්ට උපදේශකයන් නොදැනීම ගැන අපට අරුමයක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා “සැමදා විපක්ෂනායක” නම්වු ගරු නම්බුව ලබා තිබෙන්නේද මේ නොහැකියාව සහ නොදැනුවත් බව මත බව මගේ අදහසයි.    

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &