BREAKING NEWS

Jan 21, 2013

හලාල් සහතිකය සහ භාණ්ඩ මිල

මේ දිනවල හලාල් සහතිකය සම්බන්ධයෙන් මතුකරන චෝදනා කිහිපයකි. ඉන් ප්රධාන එකක් නම් හලාල් සහතිකය නිසා භාණ්ඩයේ මිල ඉහල යන බවයි. මේ චෝදනාව නගන අයට අනුව හලාල් සහතිකය සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සිදුවන්නේ එම පිරිවැයට සමානුපාතිකව භාණ්ඩයේ මිල වැඩි කිරීමෙනි. කතාව මතුපිටින් බලන විට සාධාරණයි. නමුත් මේ චෝදනාව සත්ය නොවන බව පෙන්වාදීම එතරම් අපහසු නොවේ.


ව්යාපාරයක දෘෂ්ටි කෝණයෙන් බලන විට, හලාල් සහතිකය යනු ව්යාපාරයේ පාරිභෝගික ප්රමාණය වැඩිකර ගැනීමට ඇති උපක්රමයකි. හලාල් සහතිකය නිසා මුස්ලිම් පාරිභෝගිකයන් ඒ කෙරෙහි ඇදී ඒමට පෙලෙබෙන නිසයි. පාරිභෝගික සංඛ්යාව වර්ධනය වීම, ඒකීය භාණ්ඩ මිල පහල යෑමට හේතුවන බව මෙම ලිපියෙන් පෙන්වාදීමට බලාපොරොත්තු වෙමි. නමුත් ප්රථමයෙන්, භාණ්ඩවල මිල නිර්ණය කරන සාධක කිහිපයක් සලකා බලමු.


භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්යවන අමුද්රව්ය, ශ්රමය, භූමිය, යන්ත්ර උපකරණ සහ නඩත්තු කටයුතු සඳහා යම්කිසි මුදලක් වැය වන්නේය. එම මූලික නිෂ්පාදන වියදම පියවාගෙන ලාභ ලැබීම සඳහා භාණ්ඩයේ මිල නිර්ණය කල යුතුය. නමුත් ලාභය වැඩිකර ගැනීම සඳහා සිතූ පරිදි මිල නියම කිරීම ව්යාපාර වලට කල නොහැක. ඊට හේතුව වන්නේ භාණ්ඩයට ඇති ඉල්ලුම එහි මිල සමග බැඳී ඇති බැවිනි. භාණ්ඩයේ මිල ඕනවට වඩා වැඩිනම් එය මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙලබෙන්නේ නැත. අදාළ භාණ්ඩයට සමාන වෙනත් භාණ්ඩයක් වෙනත් ව්යාපාරයක් මගින් අඩු මිලට වෙළඳ පොලට නිකුත් කර ඇත්නම් ඒ කෙරෙහි පාරිභෝගිකයන් නැඹුරු වීමටද ඉඩ ඇත.


නිෂ්පාදන වියදමට අමතරව, මිල නිර්ණය කිරීමේදී ව්යාපාරයේ අරමුණුද බලපාන්නේය. ඇතැම් විට ව්යාපාර සිය ලාභය නොතකා අඩු මිලට බඩු විකුණා පාරිභෝගික කොටස වැඩි කර ගැනීමට පෙලෙබෙති. මෙහි අරමුණ වන්නේ කෙටි කාලීන ලාභය නොසලකා දීර්ඝ කාලීන ලෙස ව්යාපාරයේ ලාභය වැඩි කර ගැනීමයි. ඇතැම් විට, සිය තරගකරුවන් අසීරුතාවයට පත් කිරීම සඳහාද බඩු මිල පහත දැමීම සිදුවේ. නමුත් අසාධාරණ ලෙස විශාල ව්යාපාර මගින් කුඩා ව්යාපාර භක්ෂණය කිරීම වැලැක්වීම සඳහා නීති රෙගුලාසි පනවා ඇති බැවින්, මෙසේ මිල පහල දැමීමේ සීමාවක් ඇත. ඇතැම් විට ව්යාපාර සිය භාණ්ඩයේ මිල ඕනෑ කමින්ම ඉහල නංවති. එයට හේතුව පාරිභෝගික සිත තුල තම භාණ්ඩයේ ගුණාත්මක භාවය පිලිබඳ අධි තක්සේරුවක් ඇති කිරීමයි. ලංකාවේ ඇතැම් ඖෂධ සම්භන්ධයෙන් මෙම ක්රමය අනුගමනය වේ. බොහෝ විට සිදුවන්නේ ව්යාපාර, සිය තරගකරුවන් සමග අනවශ්ය තරඟ වලට නොපැටලී, සිය තරඟ කරුවන්ට අනවශ්ය වාසියක් නොලැබෙන ලෙස මිල නියතව තබා ගැනීමයි.


ව්යාපාරයක දෘෂ්ටි කෝණයෙන් බලන විට, හලාල් සහතිකය යනු ව්යාපාරයේ පාරිභෝගික ප්රමාණය වැඩිකර ගැනීමට ඇති උපක්රමයකි. වෙළඳ දැන්වීම් වල අභිප්රාය වන්නේද එයයි. වෙළඳ දැන්වීම් වලට මිලියන ගණන් වැය වේ. එම පිරිවැය සපුරා ගැනෙන්නේ වියඳමට සමානුපාතිකව බඩු මිල වැඩිකිරීමෙන් නොවේ. දැන්වීම් නිසා හෝ, හලාල් සහතිකය නිසා භාණ්ඩ වැඩිපුර අලෙවි වන්නේනම්; එනිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිවන්නේනම්, ඒකීය භාණ්ඩ නිෂ්පාදන මිල පහත දැමිය හැක. එනිසා භාණ්ඩයේ මිල ඉහල නොදමා වැඩිපුර පාරිභෝගියන් ප්රමාණයක් ලබා ගත හැක. මෙය පැහැදිලි කිරීමට සරල උදාහනරයක් පහල දක්වමි.


උදාහරණය:
“අහවල්” බිස්කට් සමාගම එක් බිස්කට් පැකට්ටුවක් නිෂ්පාදන කිරීමට අමුද්රව්ය සඳහා රුපියල් 9ක් වැය කරන්නේයැයි සිතන්න. ඔවුන් හට, මාසයකට පැකට් 10,000ක් අලෙවි කල හැක. මූලික නිෂ්පාදන වියදමට අමතරව සම්පූර්ණ මාසික වියදම රුපියල් 50,000ක් බව සිතන්න.


මෙම බිස්කට් සමාගමේ සම්පූර්ණ මාසික වියදම
= බිස්කට් නිෂ්පාදන මූලික වියදම + අනෙක් වියදම්
= රුපියල් 9 x 10,000 + 50,000 = රුපියල් 140,000


මේ සමාගම, මාසික ලාභය රුපියල් 10,000ක් විය යුතු බව (අනාගත සැලසුම් යනාදිය සලකා) තීරණය කරති. එම ලාභය ලබා ගැනීම සඳහා ඔවුන් එක් බිස්කට් පැකට් එකක් අලෙවි කල යුතු මිල කීයද?
එක බිස්කට් පැකට්ටුවක මිල = (සම්පූර්ණ මාසික වියදම + ලාභය) / පැකට් ගණන
= (140,000 + 10,000) / 10,000
= රුපියල් 15


දැන් මෙම සමාගම හලාල් සහතිකයක් (හෝ වෙළඳ දැන්වීමක්) ගැනීමට කල්පනා කරති. සමීක්ෂණ වාර්තා සහ අනෙක් ව්යාපාර වල අත්දැකීම් යනාදිය සලකා බැලූ විට, ඔවුන්ගේ අලෙවි කිරීමේ ප්රමාණය පැකට් 500කින් (5%කින්) වැඩිවන බව සිතන්න. හලාල් සහතිකය සඳහා වැය වන මුදල රුපියල් 1000 ක් යැයි සිතන්න.


(සැබෑ හලාල් සහතිකය සඳහා අවම ගාස්තුව මාසයට රුපියල් 250යි. 175,000 ක් ගැන ප්රකාශය අමුලික බොරුවකි. වැඩි විස්තර මෙතනින්.)


හලාල් සහතිකය ගත් පසුව එක් බිස්කට් පැකට්ටුවක මිල ගණනය කරමු.
සම්පූර්ණ මාසික වියදම
= බිස්කට් නිෂ්පාදන මූලික වියදම + අනෙක් වියදම්
= රුපියල් 9 x 10,500 + 50,000 = රුපියල් 144,500


එක බිස්කට් පැකට්ටුවක මිල
= (සම්පූර්ණ මාසික වියදම + හලාල් ගාස්තුව + ලාභය) / පැකට් ගණන
= (144,500 + 1000 + 10,000) / 10,500
= රුපියල් 14.81


හලාල් සහතිකයට පෙර සහ පසු බිස්කට් පැකට්ටුවේ මිල සසඳා බලන්න!


මා විසින් භාවිතා කරන ලද උදාහරණය මන්ඛ්කල්පිත වන නමුත් එය, ඉල්ලුම වැඩිකිරීමට යොදන පිරිවැය භාණ්ඩයේ මිල වැඩි වීමට හේතු නොවන බව පෙන්වා දීමට ප්රමාණවත්ය. ඕනෑම ව්යාපාරයක්, යම් කිසි වියදමක් දැරීමට ප්රථමයෙන් එහි ප්රති ලාභ සලකා බලති. හලාල් සහතිකය සඳහා හෝ වෙළඳ දැන්වීම් නිසා භාණ්ඩ මිල වැඩි වනවානම් ව්යාපාර ඒවාට මුදල් වැය නොකරනු ඇත. ඒ මන්ද යත්, එයින් එම ව්යාපාරයේ භාණ්ඩයට ඇති ඉල්ලුම අඩු වී පාඩු වන නිසයි.


හලාල් සහතිකය සම්බන්ධයෙන් මේ දිනවල නිතර ඇසෙන චෝදනාවක් වන්නේ, මේ සහතිකය නිසා බඩු මිල වැඩි වන බවයි. එම චෝදනාව නගන උදවිය හලාල් සහතිකය නිසා භාණ්ඩයට ඇති (දේශීය සහ විදේශීය) ඉල්ලුම වැඩි වන බව අමතක කරති. නමුත් සාමාන්යයෙන් ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩයේ මිල පහල යන්නේය.

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &